සිනමාශාලා සම්බන්ධ ඇති ගැටළුු ප‍්‍රදර්ණ ක‍්‍රමවේදයන් පිලිබඳ ගැටළු සම්බන්ධව රවීන්ද‍්‍ර රන්දෙණියලා මාලිනීලා ජනාධිපති උපදේශකවරු ඇතුළු වගකිවයුතු පිරිස් වසර 10ක් තුළ නොකළ දේ නිසා සිදුවඇති අනිටු විපාකය මේ වනවිට සියළුදෙනාම අත්විඳිමින් සිටිති.

සිනමාවේ අනාගතය වෙනුවෙන් තරුණ සිනමාකරුවන් දරා ඇති අප‍්‍රතිහත නිර්මාණශීලී උත්සාහය පසුගියදා තරංගනී සිනමාශාලාවේදී දැක ගැනීමට හැකිවිය. ඇගේ හයියට වඩා හිතේ හයියට සිනමාව පිළිබඳව ඇති උණ නිසා සබ්බසකල මනාවම වියදම් කර සිනමා නිර්මාණ කරන තරුණයන්ට පසු නිෂ්පාදන සඳහා මෙන්ම තම නිර්මාණ ප‍්‍රදර්ශණය කරන්නට ක‍්‍රමවේදයක් නැතිව තිඹිරිගෙය තුළම වැතිරී බලාසිටිනන්ට සිදුුව ඇත. වගකිවයුතු කිසිවෙකු නැත. නමුත් චිත‍්‍රපට සංස්ථාවක් අණ පනත් සහ තවත් බොහෝ දේ තිබේ.

ලංකාවෙන් එපිටට ගොස් ජාත්‍යන්තරයේ සම්මාන ලබා රටට සැබෑ කීර්තියක් ගෙන දෙන්නට වර්තමාන තරුණ සිනමාකරුවන්ට හැකිවී තිබේ.ප‍්‍රසන්න විතානගේ අශෝක හඳගම විමුක්ති ජයසුන්දර අරුණ ජයවර්ධන මලිත් හෑගොඩ ඉන්දික ෆර්ඩිනන්ස් ඇතුළු තවත් තරුණ සිනමා කරුවන් මේ අතර විය. ආචාර්ය ලේසටර්, පතිරාජා, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, සිරි ගුණසිංහ, මහගමසේකර,සුමිත‍්‍රා පීරිස් එච්.ඩී.පේ‍්‍රමරත්න විජය ධර්මශ‍්‍රී ආදී බොහෝපිරිස් දේශීය සිනමාකර්මාන්තය ඉහළට ඔසවා තැබුවේ අද මේ සිටින තරුණ සිනමාකරුවන් බිහිකිරීම උදෙසා සාරවත් පොළවක් නිිර්මාණය කරමිණි. 

එහෙත් පසුගිය දශක තුනකට වඩා වැඩිකාලයක් තිස්සේ දේශපාලන බල ලෝභයේ ගොඳුරු බවට සමස්ථ කලාවම ගිලී බොරවී යද්දී අධීනව සිටි කලාකරුවන් අතලොස්ස හුදකලාව සටන් කරද්දී තම වාසිය සහ බඩගෝසතරවාදී කෑදරකම වෙනුවෙන් සිනමාවේ ආනාගතය පොහොසත්කම මාපිළුන් ලේ උරාබොනවා සේ විනාශ මුඛයටම ඇදගෙන ගියහ. මේ අයම වේදිකා උඩට නංවා තරුණයන්ට සම්මාන දේනනට කැඳවීම සහ ඒ අයම වේදිකාවේ සිට මහත් ආයාශයෙන් මවාගන්නා වේදනාවකින් යුතුව සිනමාවේ ඛේදවාචකය ගැන නන්දෙඩවීම තරම් විහළුවක් තවත් නැති තරම්ය.

මේ රටේ බහුතරයක් ග‍්‍රාමීය මිනිසුන් පුනරුත්පත්තිය විශ්වාස කරන බැවින් මේ වේදනාබර ආත්මාර්ථකාමීන් සිතන්නේ මේ රටේ අවදියෙන් සිටින මිනිසුන්ද මැරී ඉපැදී ඇතුවා සේය. මහින්දගේ ජනාධිපති සටන කෙළවර වන්නට දින ගණනාවක් තිබියදී ජනාධිපති මන්දිරයේ සිනමා ඩිඩිටල් කරණය වෙනුවෙන් ගායක ගායිකවාන් ඇතුළු මානවහිතවාදී සිනමාහිතවාදී කලාකරුවන්ට රසමසවුළු දුන්නා මිසක සිනමා කර්මාන්තය වෙනුවෙන් කළ කිසිවක් නැත. මේවා ප‍්‍රශ්න කරන්නට කිසිවකුද නැත. පාපොච්චාරණය කර සිදුවූ වැරදි නිවැරදි කරන්නට කිසිවකු ද නැත. 

වර්තමාන රජයේ වගකිවයුතු කිසිදු අමාත්‍යවරයෙකුට හෝ වගකිවයුතු කිසිවකුට සිනමාව කර්මාන්තයක් සේ ගොඩ නගා මේ රටේ නව සංස්කෘතියක් කතිකාවක් ඇති කරන්නට කිසිඳු උවමනාවක් නැත. තම තමන්ගේ බලය රැුකගැනීම වෙනුවෙන් සියළු දේ බිල්ලට දෙමින් සමස්ථ ජනතාවම ගොනාට අන්දවමින් එකිනෙකාට ඇගිලි දිගු කරගනිමින් සිටිති.

වසර ගණනක් තිස්සේ විනාශ වූ කිසිවක් වසරකින් දෙකකින් ගොඩ නංවා රට නිසි මාවතකට ගෙන එන්නට නොහැකිවුනත් මේ වනවිට රටට නිසි නායකත්වයක් නෙැමිති බවක් පෙනෙන නිසා මේ රටේ ආර්ථික සමාජයීය දේශපාලනික අර්බූදයන් ට නිසි විසඳුම් ක‍්‍රියාත්මක කරන්නට නොහැකි ව තිබෙන බවක් පෙනෙන්ට තිබේ. මේ නිසා දියුණු සිනමා සංස්කෘතියක් වෙත යන්නට ඇති අරමුණු දවසින් දවස ආගාධයට යන බවක් පෙනෙන්නට තිබේ. 

රටක සංවර්ධනය යනු අධිවේගී මාර්ග ඉදිවිීම ගොඩනැගිලි ඉදිවීම යන්ත‍්‍ර සූත‍්‍ර ස්ථාපිත කිරීම පමණක් නොවේ.කලාව දියුණු කිරීම යනු මිනිසාගේ සමාජ විඳානය පුළුල් කිරීම, සිතීමේ නිදහස වර්ධනය කිරීම, උසස් රසවින්දනය, මානව හිතවාදය ආදී අත්‍යාවශ්‍ය මූලික මිනිස් මානසිකත්වය ඉහළ දැමීමක් වන්නේය.

දෙරණ සිනමා සම්මාන උළෙලේදී බහුතරයක් තරුණ සිනමාකරුවන් ඉල්ලා සිටියේ හෙට දවසේ සිනමා කරුවන්ට අද දවසේ සිනාමවේ දොර විවෘත කරදෙන ලෙසට වග කිවයුත්තන් සිය අවධානය යොමුකොට කටයුතු සළසා දෙන ලෙසය. සත්‍යජිත් ට 2001 වසරේ සිට වසර 15ක් සිය නිර්මාණය එළිදැක්වීමට තරුණ සිනමාකරුවෙකුගේ සිනමා නිර්මාණ අගය නොතේරෙන නිළධාරීන් නිසා බලා සිටින්නට සිදුවිය.සත්‍යජිත්ට වසර 15ක් බලාසිටින්නට සිදුවූවාසේ ඉන්දිකට ද හෝ ගාන පොකුණ අවසන් කරගන්නට නොහැකිව බලා සිටින්නට සිදුවූවානම් …. මලිත්ලාට උපාලිලාට ප‍්‍රියන්ත ලාට විමුක්තිලාට සහ තවත් බොහෝ අයට තව කොපමණ කල් බලා ඉන්නට සිදුවේද? 

හෙට දවසේ සිනමාකරුවන් යැයි හඳුන්වන බොහෝ සිනමාකරුවන් සිය නිර්මාණ වසර ගණන් නිර්මාණය කර බලාසිටින්නේ ආර්ථික සහයෝගයක් මෙන්ම ප‍්‍රදර්ශණ සහයෝගයක් සිනමා කර්මාන්තයේ යෙදී සිටින අයගෙන් නොලැබෙන නිසාය. 

මෙරට සිනමා ප‍්‍රදර්ශකයෝ ජනප‍්‍රිය සිනමා නිර්මාණ වහා ප‍්‍රදර්ශණය සඳහා සැදී පැහැදී සිටියද කලාත්මක සිනමා නිර්මාණ සඳහා ගැප් පිරවීමේ අවස්ථාව සළදා දී තිබේ. ජනප‍්‍රිය සිනමාව සිනමා කර්මාන්තයක් ලෙස සළකන විට අනිවාර්්‍යයෙන්ම ප‍්‍රමුඛත්වයක් ලබාදීම කළයුතුය. නමුත් හඳගම ප‍්‍රසන්න ජයකොඩි මලිත් සංජීව උපාලි ඇතුළු සිනමාකරුවන්ගේ නිර්මාණ ප‍්‍රදර්ශණය සඳහා අවස්ථා ලැබෙන්නේ කවදාද?

පසුගිය දිනක චතුරිකා සිරිසේන ව අහම්බෙන් මුණගැසුන අවස්ථාවක ඇය වෙත යෝජනාවක් ඉදිරිපත් කළේ සමස්ථ සිනමාකර්මාන්තයේ නිරතව සිටින සියළු දෙනාවෙනුවෙනි. ඒ නැවතත් ජනාධිපති සිනමා සම්මාන උළෙල පවත්වා මෙරට නවපරපුරේ සහ අනෙකුත් සමස්ථ සිනමා නිර්මාණ කරුවන්ගේ දක්‍ෂතා ඇගයීම නැවත සිදු කරන ලෙසය. දේශපාලනයකින් තොරව සමස්ථ සිනමා කර්මාන්තයේ පිරිස් දිරිගන්වනු වස් නැවත ජනාධිපති සිනමා සම්මාන උළෙල අරඹන්නට ඇති අවකාශ සොයා බලා කටයුතු කරන ලෙසය.චතුරිකා මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ජා කරන බව පැවසීය. සමහර විටෙක මෙය ක‍්‍රියාත්මක වන්නට පුළුවන සමහර විටෙක එය එසේ සිදුනොවනු ඇත.

දෙරණ සහ හිරු ටෙලිවිෂන් නාලිකා මගින් හෝ මෙවැනි සිනමා කලාකරුවන්ට සිනමාව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙන්ම සිනමා රසිකයින් වෙනුවෙන් කරගෙන යනු ලබන මෙහෙවර ඇගයීම ප‍්‍රශංසා සහගතය. අගය කළයුතුය. නව සිනමා සංස්කෘතික කථිකාවක් නිව් මීඩියා තුළ මෙන්ම රසිකයින් මෙන්ම විචාරකයින් තුළින්ද ගොඩ නැගිය යුතුය.

යහළුවන්ගේ චිත‍්‍රපට වලට විචාර ලියන සංස්කෘතිය තවදුරටත් වලංගු විය යුතු නැත. පෞද්ගලික එදිරිවාදිකම් පිරිමහන විචාරකයන් සිටිති. මේ සියල්ල තුළින් සෘජු විචාර කලාවක්ද මෙයට සමගාමීව බිහිවිය යුතුය. කැමට බීමට සහ විවිධ මානසික අල්ලස් වලට සිනමා විචාර ලියන පත්තර ඉඩකඩ වෙන්කරන කාලය හමාර කොට නිවැරදි පීල්ලට විචාර කලාව සකස්වේනම්, වර්තමාන සිනමා කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටිය හැකිනම් බලධාරීන්ට බලකොට කිව හැකිනම් සාමුහිකව මේ සඳහා එක්විය හැකිනම් පවතින කල්ගිය සහ වර්තමානයේ පැන නගිමින් ඇති ප‍්‍රශ්න වලට පිළිතුරු ලබාගැනීම අපහසු නැත. මන්ද ප‍්‍රශ්න පැන නගිනවානම් ඒ සඳහාම වූ පිළිතුරු ඇත. 

පසු සටහනකි-

එමෙන්ම ඉදිරියේදී සිනමා සම්මාන සංවිධානය කරන සංවිධායකයන්ට සහ විනිසරුවරුන්ගේ අවධානයට විශේෂයෙන් යොමුකළයුතු කරුණක් ද මෙහි සටහන් කිරීම සුදුසුයැයි හැගෙන්නේ මේ වනවිට සිනමා සම්මාන උදෙසා ඇතුළත්විය යුතු ක්‍ෂෙත‍්‍ර කිහිපයක් වෙනුවෙනි. විශේෂයෙන් සිනමා දෘෂ්‍ය ප‍්‍රයෝග සඳහා සම්මාන ලබාදිය යුතුව ඇත. උදාහරණ ලෙස ‘මහරජ ගැමුණු’ හි පසුතල නිර්මාණයන්හිදී ‘පත්තිනි’ චිත‍්‍රපටයේ ‘ගින්දරී’ චිත‍්‍රපටයේ මෙන්ම තවත් බොහොමයක් චිත‍්‍රපටවල මෙන්ම පැමිණීමට නියමිත ‘ආලෝකෝ උදපාදි’ ඇතුළු සිනමා නිර්මාණ බොහොමයක මෙම නව තාක්‍ෂණික හරඹයන් ගොනුකර ඇත. එහෙයින් මේ සඳහා ඔවුන්ගේ අවධානය යොමුවිය යුතු යැයි අවදාරණය කරමි.

මනෝහාරී හේවාවසම්



දෙරණ සිනමා සම්මාන ලාභීන්

  • හොඳම නළුවා – ජැක්සන් ඇන්තනි – ඇඩ්‍රස් නෑ
  • හොඳම නිළිය – කෞෂල්‍යා ප්‍රනාන්දු – බොරදිය පොකුණ
  • හොඳම සහ ජනප්‍රියතම චිත්‍රපටය – ඉන්දික පර්ඩිනැන්ඩෝ – හෝගාන පොකුණ
  • හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය _ ප්‍රසන්න විතානගේ – ඔබ නැතිව ඔබත් එක්ක
  • ජනප්‍රියම නළුවා – හේමාල් රණසිංහ – ප්‍රවේගය
  • හොඳම අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමා කරුවා සරත් ධර්මසිරි – සූවිසි විවරණ
  • හොඳම අනාගත බලාපොරොත්තු තැබිය හැකි ජූරියේ විශේෂ සම්මානය මලිත් හෑගොඩ – දැකලා පුරුදු කෙනෙක්
  • හොඳම තිර රචනය සත්‍යජිත් මා එපිට – බොරදිය පොකුණ
  • හොඳම චිත්‍රපට ගීතය – සිරවී තිබුණා හදපතුලේ – සිනහව අතරින්
  • හොඳම සහය නළුවා – ජයලත් මනෝරත්න – හෝ ගානා පොකුණ
  • හොඳම සහය නිළිය – සබීතා පෙරේරා – ඇඩ්‍රස් නෑ
  • හොඳම – විකට නළුවා – මහේන්ද්‍ර පෙරේරා – ගින්දරි
  • හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය – දිනේෂ් සුබසිංහ – හෝ ගානා පොකුණ
  • හොඳම අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ – ඔබ නැතිව ඔබත් එක්ක
  • හොඳම කැමරාකරණය – චන්න දේශප්‍රිය – ඇඩ්‍රස් නෑ
  • ජනප්‍රියතම සිනමා නිළිය – දිනක්ෂි ප්‍රියසාද් – මේ වගේ ආදරයක්
  • හොඳම අධ්‍යක්ෂවරයා, ජූරියේ විශේෂ සම්මානය – සත්‍යජිත් මාඉටිපේ – බොරදිය පොකුණ
  • වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපටය – ඉන්දික පර්ඩිනැන්ඩෝ – හෝ ගානා පොකුණ
  • ජනප්‍රියතම චිත්‍රපට ගීතය – දිනේෂ් සුබසිංහ – සංගීත අධ්‍යක්ෂණය – හෝ ගානා පොකුණ
  • චන්න දේශප්‍රිය මහතා හොඳම කැමරා අධ්‍යක්ෂණය
  • අජිත් රාමණායක – හොඳම සංස්කරණය
  • රොහාන් සමරදිවාකර- හොඳම කලා අධ්‍යක්ෂණය  
  • හර්ෂ මංජුල – හොඳම වේශ නිරූපනය
  • නිමල් සෝමරත්න – හොඳම ඇඳුම් නිර්මාණය 

ඉන්දියාවේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ සාජි කරූන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ජූරි සභාවක් විසින් පසුගිය වසරේ තිරගත වු චිත්‍රපට 20ක් සහ තිරගත වීමට නියමිතව තිබු චිත්‍රපට 6ක් ඇගයීමට ලක් කරමින් මෙම සම්මාන පිරිනැමීම සිදුවිය.

අඩසියවසක අද්වීතිය සිනමා රංගනය වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ගෞරව සම්මානයෙන් මෙවර පිදුම් ලැබූවේ ප්‍රවීන රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය යි.